සෞඛ්‍ය සදහා ජනතාවට ප්රවේශවීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බවත්, එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරනු ලැබුයේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය සදහා එක් වෙමිනි.
මෙම උත්සවය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍ර ශාලාවේදී පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට පත්වාගෙනයාමේ දී ව්‍යුහාත්මක වෙනසකට ඉතා කඩිනමින් පරිවර්තනය විය යුතු බව ද පැවැසීය. එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් එහිදී මුලික වන බවත්, ඉදිරි දශකය තුළ දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කළේය. පුරවැසියන් සෞඛ්‍යමය වශයෙන් බලාගැනීමේ වගකීම රජය සතු බවත්, එම වගකීම රජය බාරගන්නා බවද වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා ව්‍යවස්ථාවට වගන්තියක් එක් කරමින් සෞඛ්‍ය සදහා ජනතාවට ප්රවේශවීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත්කරන බවත්, එය කඩවන සෑම අවස්ථාවකදීම ජනතාවට අධිකරණ පිහිට පැතීමට වුවද ඉන් අවස්ථාව සැලසෙන බවද පැවසීය. එය සෞඛ්‍ය සේවයේ විශාල ඉදිරි පියවරක් බව පැවසූ අමාත්‍යවරයා රජයක් ලෙස නිවැරදිව හා විශ්වාසවන්ත වැඩපිළිවෙළක් ගොඩනැගූ පසු රෝගීන් වෙනුවෙන් සිදු කරන සමාජ සේවාවන් සහ පරිත්‍යාගවල වටිනාකම ද තව තවත් ඉහළ යන බවද අවධාරණය කළේය.
වකුගඩු රෝගය ඉතා කඩිනමින් පාලනය කළ යුතු සෞඛ්‍ය අභියෝගයක් ලෙස දකින බව සදහන් කළ අමාත්‍යවරයා රෝගයට ගොදුරුවන පුද්ගලයා පමණක් නොව සමස්ත පවුල් ඒකකයම සෑම අතින්ම අසරණභාවයට පත්කරන මෙම රෝගයට කඩිනම් පිළියම් සොයමින් එම පවුල්වලට සෞඛ්‍ය හා සමාජිය වශයෙන් මුහණ දීමට ඇති ශක්තිය ධෛර්ය ලබාදිය යුතු බව ද පැවසිය. එම කාර්යයේ දී සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වසර ගණනාවක් තිස්සේ රජයක් විසින් කළ යුතු අන්දමේ වැදගත් සත් කාර්යයන් රැසක් වකුගඩු රෝගීන් සහ එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ද පොදුවේ නිරෝගී සමාජය දැනුවත් කිරිම වෙනුවෙන් ද ඉටු කර ඇති බව පැවසිය.
වකුගඩු රෝගයට මුල් අවස්ථාවේ ප්‍රතිකාර කිිරීමේ දී සහ රෝගය වළක්වා ගැනීමේ දී තිබූ ප්‍රධානතම බාධකය මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල ප්‍රවේශයට තිබුන බාධාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වර්තමානයේ පවා මෙම රෝගයට ස්ථීරම හේතුව ප්‍රකාශ කළ නොහැකි වුවත්, යම් ආකාරයකට ප්‍රතිකාර කිරීමට සමත් මාර්ගයක් සකස් කර ගැනීමට හැකිව තිබෙන බව ද පැවසීය. ජාතික හා ජාත්‍යන්තර සහයෝගය ලබාගනිමින් මේ අභියෝගය ජයග්‍රහණය කළ යුතු වන බවත්, රෝගය වළක්වා ගැනීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබදව රජයක් ලෙස දැඩි අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවයේ දී අභිනව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට වකුගඩු සංගමයේ උපහාර පිරිනැමීම සහ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර එළිදැක්වීමත් සිදු වූ අතර ඊට අමතරව වකුගඩු රෝගීන්ගේ දරුවන්ට පාසල් පොත් සහ ශිෂ්‍යත්ව ප්රදානය කිරීම, වකුගඩු පුවත්පත විසිනවවන කළාපය එළිදැක්වීම, වර්ෂ 2025 වකුගඩු කැලැන්ඩරය එළිදැක්වීම, වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය සදහා වවුචර්පත් ප්රදානය, සෞඛ්‍ය ප්රතිලාභ හිමිකම් ගෙවීම් ප්රදානය, වකුගඩු රෝගීන් වෙනුවෙන් නන් අයුරින් උදව් උපකාර කරන සුපින්වතුන් ඇගයීම, 2025 තෙවන සුවසර ගී දැහැන ප්‍රසංගයේ ප්‍රවේශපත් එළිදැක්වීම ආදි කටයුතු ද සිදු කරන ලදි.
මෙම අවස්ථාවට සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, මහාචාර්ය මන්දික විඡේරත්න, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ, රාජ්‍ය නිලධාරින්, වකුගඩු පරිත්‍යාගශීලීන්, වකුගඩු රෝගීන් සහ එම පවුල්වල සාමාජිකයින්, කළාකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.